80 දශකයේ පොඩ්ඩන් අමන්දානන්දයට පත් කළ රූපවාහිනී කාටූන් කතා පෙළක් වන්නේ He-Man ය. He-Man කාටූන් කරළියට පැමිණියේ සෙල්ලම් බඩු රැසක් ජන්‍රපිය කරමිණි. He-Man සෙල්ලම් බඩුවල (Mattel toys) ජනප්‍රියත්වයත් සමග කාටූන් කතා පෙළ ද ජනප්‍රිය විය.
80 දශකයේ He-Man කාටූන් කතා මාලාව සජීවිකරණ චිත්‍රපටයක් ලෙස රිදී තිරයට පැමිණියේ ට්‍රැවිස් නයිට්ගේ අධ්‍යක්ෂණයක් ලෙසය. Masters of the Universe නමින් නම් කළ චිත්‍රපටය පසුගිය ජූනි 5 වැනිදා සිට ලොව පුරා තිරගතත වීම ඇරැඹිණි.
ට්‍රැවිස් නයිට්ගේ Masters of the Universe චිත්‍රපටය, 80 දශකයේ අතිශය ජනප්‍රිය වුණු He-Man කාටූන් කලාවට සහ සෙල්ලම් බඩු සංස්කෘතියට දැක්වූ ඉහළම ගෞරවයක් මෙන්ම ආදරණීය උපහාරයක් ලෙස හඳුන්වන්න පුළුවනි.
පැරණි මතකයන් (Nostalgia) අවදි කිරීමට Masters of the Universe සමත් වුණු බව එය නැරඹූ බොහෝ දෙනාගේ අදහස වෙයි.
චිත්‍රපටයේ He-Man එසේත් නැතිනම් ඇඩම් කුමරු ලෙස නිකලස් ගැලිසින් අපූරු රංගනයක නියැලෙයි. චිත්‍රපටයේ නපුරා ස්කෙලෙටෝර් ලෙස ජැරඩ් ලෙටෝ රංගනයෙන් දායක වෙයි.

චිත්‍රපටයේ ස්කෙලෙටෝර්ගේ චරිතය, කාටූන් ශෛලියට බර, තරමක් අමුතු සහ විනෝදජනක ස්වරූපයක් උසුලයි. එහෙන්ම ඔහු නපුරෙකි. බිහිසුණු ප්රතිවාදියෙකි.
චිත්‍රපටයේ කැපී පෙනෙනම අංගයක් වන්නේ එහි දෘශ්‍ය ප්‍රයෝග (VFX) සහ වර්ණ සංකලනයයි.
වර්තමාන ෆැන්ටසි චිත්‍රපටවල දකින්න ලැබෙන අඳුරු, අළු පැහැති ස්වභාවයෙන් මිදී, 80 දශකයේ කාටූන් ලෝකයක තිබූ දීප්තිමත්, වර්ණවත් බව (Vibrant aesthetic) සහ සැබෑ රූප රාමු (Practical effects) මෙහි මනාව භාවිත කර ඇත.
Masters of the Universe බොහෝ දෙනාගේ පැසැසුමට ලක් වුවත් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙහි තිර පිටපත (Script) සහ සමහර චරිත ගොඩනැගීම තරමක් දුර්වල මට්ටමක පවතින බවය.
එසේ වුවත්, Masters of the Universe යනු කිසිදු බරක් නැතිව, විනෝදාස්වාදය සඳහා නැරඹිය හැකි, පැරණි මතකයන් අලුත් කරන සුපිරි සිනමා අත්දැකීමකි.
He-Man සහ Masters of the Universe විශ්වයේ හොඳ සහ නපුරු චරිත බොහොමයකි. ඇඩම් කුමරු එසේත් නැතිනම් He-Man ට නිවුන් සොහොයුරියක සිටින අතර ඇය කුඩා කාලයේ පැහැර ගෙන යෑමක් සිදුවෙයි. ඇය ඇඩෝරා ය.

ඇඩම් කුමරුට මෙන්ම ඇඩෝරා ට ද බල අසිපතක් හිමිවෙයි. ඇඩම් කුමරුන්ගේ අසිපත සෝඩ් ඔෆ් පවර් (Sword of Power) ය. ඇඩෝරා කුමරියගේ බල අසිපත සෝඩ් ඔෆ් ප්‍රොටෙක්ෂන් (Sword of Protection) ය.
මේ වනවිට Masters of the Universe චිත්‍රපටය අවසානයේ End-Credits (පසු-තිර දර්ශන) ගැන රසිකයන් අතර ලොකු කතාබහක් නිර්මාණය වී ඇත.
Masters of the Universe අවසානයේ ස්කෙලෙටෝර් පරාජය කිරීමෙන් පසුව, ඉටර්නියා (Eternia) ග්‍රහලෝකයට සාමය උදාවන බව පෙනෙන්නට තිබුණත්, End-Credits දසුන්වලින් දකින්න ලැබෙන්නේ පෙන්වන්නේ විශ්වයේ වෙනත් අඳුරු කොනකි. ඒ, එතීරියා (Etheria) ග්‍රහලෝකයයි.
මැණික් ගලක් සහිත Sword of Protection අසිපත ආලෝකමත් වෙමින් බැබළෙන අයුරු දකින්න ලැබෙන අතර ෂීරා එම අසිපත දරා සිටී. අධ්යක්ෂ ට්‍රැවිස් නයිට් ඉඟි කරන්නේ, මේ සිනමා විශ්වයේ මීළඟ Masters of the Universe චිත්‍රපටයෙන් ඇඩෝරා කුමරිය හෙවත් She-Ra හඳුන්වා දීමට නියමිත බවය.

Masters of the Universe දෙවැනි චිත්රපටයනට යෑමට නම්, තිරගත වීම් ආරම්භ කළ මෙම He-Man චිත්‍රපටය සාර්ථක බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් විය යුතුය.
අවාසනාවකට Masters of the Universe ආරම්භක සති අන්තයේ (Opening Weekend) ආදායම් වාර්තා දෙස බැලීමේදී එය මූල්‍යමය වශයෙන් සතුටුදායක තත්ත්වයක නොමැති බව පෙනී යයි.
ඇමරිකානු ඩොලර් මිලියන 170 ත් 200 ත් අතර අධික නිෂ්පාදන පිරිවැයක් දරා නිපදවූ මෙම චිත්‍රපටයට, උතුරු ඇමරිකානු කලාපයේ පළමු සති අන්තය තුළ උපයා ගත හැකි වී තිබෙන්නේ ඩොලර් මිලියන 27 ත් 30 ත් අතර අඩු ආදායමක් පමණි.

සිනමාහල් 3,600 කට අධික ප්‍රමාණයක තිරගත වුවද, පළමු සිකුරාදා දිනයේදී ඇමරිකාවෙන් උපයා ඇත්තේ ඩොලර් මිලියන 11.75 ක් වැනි සුළු මුදලකි.
බොක්ස් ඔෆිස් විශ්ලේෂකයන්ට අනුව, චිත්‍රපටයක් ලෙස නිෂ්පාදකයන්ට ලාභදායී මට්ටමකට (Break-even) පැමිණීමට නම් මෙය ලොව පුරා ප්‍රදර්ශනයෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 350-400 සීමාව ඉක්මවිය යුතුය.
දැනට පවතින මන්දගාමී ප්‍රවණතාවය හේතුවෙන් මෙය ආදායම් අතින් දැඩි පසුබෑමකට ලක්වූ චිත්‍රපටයක් (Box Office Bomb) වීමේ අවදානමක් මතුව ඇතැයි ද පැවැසෙයි.
එසේ වුවත් දැනට බලාපොරොත්තු තබා ඇත්තේ ජාත්‍යන්තර වෙළඳපොළ (International Box Office) කෙරෙහියි. විශේෂයෙන්ම 80 දශකයේ He-Man කාටූන් සඳහා ඉහළ රසික පදනමක් පැවති ලතින් ඇමරිකාව සහ යුරෝපීය රටවලින් ලැබෙන ආදායම මත මෙහි මූල්‍යමය ඉරණම තීරණය වනු ඇතැයි විශ්වාස කෙරේ.

1987 දී Masters of the Universe සජීවීකරණ චිත්‍රපටයක් රිදී තිරයේ දිග හැරුණි. එහි He-Man වූයේ සුපිරි හොලිවුඩ් නළු ඩොල්ෆ් ලන්ඩ්ග්රන් (Dolph Lundgren) ය. ට්‍රැවිස් නයිට්ගේ මෙම නවතම Masters of the Universe චිත්‍රපටයේ ද ඩොල්ෆ් ලන්ඩ්ග්රන්ගේ කැමියෝ (Cameo) දකින්න ලැබේ. එය ද සුවිශේෂී කරුණකි.
ලුසිත ජයමාන්න
